ශානිගේ ඉවසිලිවන්ත මොළෙන් වැඩගත් අවස්ථාවක් - පද්මේ ඇතුළු කල්ලිය කොටු කරගත් මෙහෙයුම!

දේශපාලනමය වශයෙන් දැඩි චෝදනාවන්ට ලක්වෙමින් තිබූ පසුබිමක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ දියත් වූ රහසිගත මෙහෙයුමක්, මෙරට ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් ඊයේ (28) උදෑසන අවසන් විය.

එන ජනවාරියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වර්ධකය ගැන ජනපති කියයි

අරලියගහ මන්දිරයේදී ඊයේ (05) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (SASA) 41 වන වාර්ෂික සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ භෞතික සහ ආධ්‍යාත්මික වශ‌යෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බවයි.

නූතනත්වයේ සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

නටබුන් වූ රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා එහි භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට ලබන වසරේ අයවැයේදී ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. 

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 41 වන වාර්ෂික සමුළුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න සහභාගීත්වයෙන් අද (05) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය යනු රාජ්‍ය සේවයේ ප්‍රමුඛතම දීප ව්‍යාප්ත සේවාව වන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ගෙන් සැදුම් ලත් වෘත්තීය සංවිධානයයි. මෙවර එහි වාර්ෂික සමුළුව පවත්වනු ලැබුවේ වසර 05කට පසුව වීම විශේෂත්වයකි. 

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා පසුගිය අයවැයෙන් යෝජිත වැටුප් වැඩිවීම ඉදිරියට ගෙන යමින් ලබන වසරේ වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කරන බවත් 2027 වසර සඳහා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සඳහා රුපියල් කෝටි 11,000ක් වෙන් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ආකර්ෂණීය රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට දේශපාලන අධිකාරිය ලෙස ආණ්ඩුව කැප වී සිටින බවත්, ඊට රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ කැපවීම අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවයේ සුළුතරයක් අතින් තමන්ට පැවරී ඇති වගකීම ගනුදෙනුවක් බවට පත් වී ඇති බවත් එසේ සමාජ වටිනාකමෙන් ඔබ්බට ගිය මූල්‍ය වටිනාකම්වලට මුල් තැන දුන් රාජ්‍ය සේවය එම තත්ත්වයෙන් මුදවාගත යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

රාජ්‍ය නිලධාරීන්ට පුරවැසියා කෙරෙහි ඇති වගකීම චක්‍රලේඛයකින් හෝ අණපනත්වලින් බැඳ තැබිය නොහැකි බවත්  සමාජ වටිනාකම් හා සමාජ හර පද්ධතීන්වලට මුල් තැන දෙන නිලධාරීන් බිහි විය යුතු බවත් පැවසු ජනාධිපතිවරයා තමන්ට ලැබී තිබෙන වගකීම අනෙකා තලා පෙළා දැමීමට නොව යහපත් රාජ්‍ය සේවයක් ගොඩනඟමින්, ජනතාවට ඉතා උසස් ජීවිතයක් ලබා දීම වෙනුවෙන් යෙදවීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත් හිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවය අද සංධිස්ථානයකට පැමිණ ඇති බවත් තවදුරටත් කාලයක් ගත කරමින් ඉදිරියට යා හැකි බවත්, එසේ නොමැති නම් අපගේ කාර්යභාරය පිළිබඳ ස්වයංඇගැයීමකට ලක් කර පුරවැසියාගේ අවශ්‍යතාව මත කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමට අවශ්‍ය මාර්ගය තෝරා ගැනීමට කාලය එළැඹ ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

නව පරිවර්තනීය වෙනසකට අවශ්‍ය පරිදි නව අත්හදා බැලීම් සිදු කරමින් පුරවැසියාට අවශ්‍ය රට නිර්මාණය කිරීමට කටයුතු කළ යුතු බවත් නටබුන් වූ  රාජ්‍යය දේහය ප්‍රතිෂ්ඨාපනය කිරීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

රටවල් 40ක වීසා ගැන රජය ගත් විශේෂ තීරණය මෙන්න

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමේ අරමුණින් තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව දන්වා ඇත.

ඒ කොළඹ පැවැති උත්සවයකදීයි.

මෙහොදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මාලදිවයින් ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සඳුදා දින මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇති බවයි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී “‘Hotel Show Colombo 2025” ප්‍රදර්ශනය ආරම්භ කර තිබෙනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බව සඳහන්.

ලොවම කැළඹූ ඉන්දීය ගුවන් අනතුරට හේතුව ප්‍රකාශ කරයි

ජූනි 12 වැනිදා ගුජරාටයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පියාසර කරද්දී, කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මූලික වාර්තාවට අනුව, යානයේ නියමුවන් දෙදෙනාගේ ක්‍රියා කලාපය කෙරෙහි මේවනවිට වැඩි අවධානයක් යොමු වී ඇත.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි.. ප්‍රතිඵල මෙතනින් බලන්න

(2024/2025 OL Exam results Srilanka)

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk සහ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකියි.

ප්ලාස්ටික් කෑම පෙට්ටි වතුර බෝතල් තහනම්!

වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසන්නේ ශරීරයට අහිතකර තත්වයන් ඇති විය හැකි කෑම පෙට්ටි සහ වතුර බෝතල් ඇතුළු භාණ්ඩ වෙළඳපොළට පැමිණීම නතර කිරීමට දැඩි පියවර ගන්නා බවයි.

ඉදිරි මාස දෙකක කාලයේදී එවැනි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන භාවිතයෙන් ඉවත් කිරීම සඳහා දැඩි තීරණයකට යෑමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

වෙළෙඳපොළේ කළ සමීක්ෂණවලදී අවදානම් සහිත තත්වයන් වාර්තාවී ඇති හෙයින් මේ සම්බන්ධව කඩිනමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් මතුව තිබේ.

ආනයනකරුවන් නිෂ්පාදකයන් කැඳවා ඔවුන්ට උපදෙස් දීමට බලාපොරොත්තු වන බවද සමරසිංහ මහතා සඳහන් කළේය. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම තීරණ ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

සීගිරිය ලෝක උරුමය රටට අහිමිවන ලකුණු!

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසන්නේ නොබෝ දිනකින් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුව ඇති බවයි.

සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් ඊට මූලික වශයෙන් බලපා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

1982 වසරේදී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට සීගිරිය ප්‍රකාශ කරන ලද්දේ අතිවිශාල දෙස් විදෙස් ආකර්ශනයක් හිමිකර දෙමින්ය. නමුත් වර්තමානය වනවිට සීගිරිය අවට දිනෙන් දින ඉදිවන අනවසර ඉදිකිරීම් යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් සීගිරිය ඉවතට විසිකිරීමේ අවදානමක් මතුකර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි.

“මෙම අනවසර ඉදිකි‍රීම් මෙවැනි සංවේදී තැන්වල සිදුවෙලා තියෙන්නේ පසුගිය රජයන් මේ වෙනුවෙන් කටයුතු කළ විදිහ සහ අවසරදීමේ පිළිවෙලක් නැති නිසා. සීගිරියේ පර්වතයේ ඉඳලා 200 සීමාව සහ යාර 400 සීමාව කියන කොටස ඇතුළේ අනවසර ඉදිකිරීම් 124ක් තියෙනවා. ඒවා ඉවත් කරන්න අවශ්‍ය කටයුතු අපි දැන් දියත් කරලා තියෙනවා. ආයතන 15 එකතු කරලා අන්තර් ආයතනික කමිටුවක් හදලා තියෙනවා. රජය මේ අයව ඉවත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රාමාණික වැඩපිළිවෙලක් හදලා”යැයි සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා කියා සිටියේය.

ලෝක උරුම සීගිරියට බලපෑම් කරන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා සැලසුම් සකස් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා සඳහන් කරනවා.

ඔහු සඳහන් කළේ, සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවතට විසිවී යාමේ තර්ජනයක් නැතත්, සීගිරිය අවට භූ දර්ශනය රැකගන්නා ලෙස යුනෙස්කෝ සංවිධානය දැනුම් දී ඇති බවයි.

“සීගිරිය කියන්නේ ගල විතරක්ම නෙමේ. මේක වටා ලෙන් පද්ධතියක් තියෙනවා, සුසාන තියෙනවා. මෙන්න මේ භූ දර්ශනයට තමා යුනෙස්කෝවෙන් ආරක්ෂා කරන්න කියලා කියන්නේ.
යුනෙස්කෝවෙන් එහෙම තර්ජනයක් තවම ඉදිරිපත් වෙලා නෑ. නමුත් අනවසර ඉදිකිරීම් වේගයෙන් වැඩි වුණොත් ඉදිරියේදී තරජනයක් වෙන්න පුළුවන් කියන තත්ත්වයක අපි ඉන්නවා”යැයි මහාචාර්ය ඩී. තුසිත මැන්දිස් මහතා කියා සිටියේය.

මොළය මියගොස් දින 5කට පසුවත් රෝගියකුට වෛද්‍ය මහේෂි ස්නායු සැත්කමක් කරලා අල්ලස් කොමිසම උසාවියට කියයි

රෝහලට ඇතුළත් වන ස්නායු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය EVD හෙවත් External Ventricular Drain සහ VP Shunt නමැති උපකරණ රෝහලේ වාර්ෂික වෛද්‍ය උපකරණ ඇස්තමේන්තුවට ඇතුළත් නොකොට සිය හිතවතෙකු පවත්වාගෙන ගිය ආයතනයකින් ලබාගැනීමට ඔවුන්ගේ ඥාතීන්ට උපදෙස් දී ඇතැයි චෝදනා එල්ලවී ඇති ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේෂි සුරසිංහ විජේරත්න මහත්මිය ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය ඊයේ (24දා) නියෝග කළාය.

සැකකාර විශේෂඥ වෛද්‍යවරිය සේවය කළ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියකුගේ මොළය මියගොස් දින පහකට පසුවත් එකී සැකකාර විශේෂඥ වෛද්‍යවරිය පෙරකී වෛද්‍ය උපකරණ ඉතා අධික මිලකට සිය හිතවතකුගේ ආයතනයකින් ගෙන්වාගෙන එම රෝගියාට ස්නායු ශල්‍යකර්මයක් සිදුකර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව පෙන්වා දෙමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සැකකාර අධ්‍යක්ෂිකා සුලෝචනී හෙට්ටිආරච්චි මහත්මිය කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළාය.

එකී රෝගියා මිය යෑමෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වා ඇති බවත් එම ශල්‍යකර්මය සිදුකිරීමට දින පහකට පමණ පෙර රෝගියාගේ මොළය මියගොස් තිබූ බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බවත් අධිකරණයට පෙන්වා දුන් සුලෝචනී හෙට්ටිආරච්චි මහත්මිය එම රෝගියාගේ ඥාතීන් ඒ පිළිබඳව සිය කොමිෂන් සභාවට ප්‍රකාශ ලබාදී ඇතැයි ද පැවසුවාය.

එකී වෛද්‍යවරිය ස්නායු ශල්‍යකර්ම හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය පෙරකී වෛද්‍ය උපකරණ රෝහලේ වාර්ෂික වෛද්‍ය උපකරණ ඇස්තමේන්තුවට ඇතුළත් නොකොට තමන් නිර්දේශ කරන ආයතනයෙන්ම ලබාගන්නා ලෙස උපදෙස් ලබාදීම නිසා රෝහලෙන් රුපියල් 17,500ක් වැනි මුදලකටත් පිටත සැපයුම් ආයතනවලින් වර්තමානයේ රුපියල් 46,000ක් වැනි මුදලකටත් ලබාගත හැකිව තිබූ එකී වෛද්‍ය උපකරණ රුපියල් 120,000 ක් හා රුපියල් 250,000ක් වැනි විශාල මුදලක් ගෙවා ලබාගැනීමට රෝගීන්ගේ ඥාතීන්ට සිදුවී ඇති බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිය විමර්ශන වාර්තා මගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

මෙකී අයථා ක්‍රියාකලාපය නිසා රෝහලට අලාභයක් සිදුවී ඇති බවත්, එපමණක් නොව ගෙවුණු වසර කීපය තුළ ඇගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් විශාල පිරිසකගේ ඥාතීන්ට ලක්ෂ සිය ගණනක් නිකරුණේ වැය කිරීමට සිදුවී ඇති බවත් අල්ලස් කොමිෂන් සභාව එමගින් අධිකරණයට වාර්තා කොට තිබිණි.

ගරු මැතිනියනි, සැකකාර වෛද්‍යවරියගේ එකී අයුතු ක්‍රියාකලාපය නිසා අගතියට පත් රෝගීන්ගේ ඥාතීන් 90කට අධික පිරිසක් මේ වනවිටත් කොමිෂන් සභාවට පැමිණිලිකොට තිබේ. ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කිරීමට කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා. එකී ප්‍රකාශ සටහන් කළ පිරිසට අමතරව තවත් විශාල පිරිසක් ඔවුන් මුහුණ දුන් එවැනි අවාසනාවන්ත සිදුවීම් ගැන දුරකථනවලින් පවා පැමිණිලි කර තිබෙනවා. මා පෙර සඳහන් කළ ආකාරයේ මොළය මියගිය තවත් පුද්ගලයන්ට ද එවැනි ශල්‍යකර්ම සිදුකර ඇති බවත් අනාවරණය වෙමින් පවතිනවා. සැකකරුවන්ට මෙම අවස්ථාවේදී ඇප ලබාදීමෙන් විමර්ශනවලට දැඩි බාධාවක් විය හැකියි. ඒ නිසා විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටිනවා.

සැකකාර වෛද්‍යවරියට අමතරව එම රෝහලේ කළමනාකරණ සහකරුවකු ලෙස සේවය කළ කැකුලන්දල ලියනගේ ඉන්දික සහ එම වෛද්‍යවරිය අනීතික ලෙස පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතනයක සේවය කළ නිමල් රංජිත් යන සැකකරුවන් තිදෙනා පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබිණි. තමන්ට සිදුවූ එකී අසාධාරණ ක්‍රියාව පිළිබඳව චාමර ප්‍රසාද් නමැත්තා පැමිණිලි කර ඇති බවත් එවිට එම පැමිණිලිකරුට වැය වූ රුපියල් ලක්ෂ දෙකක මුදල හා රෝහල් ගාස්තු සැකකරුවන් ගෙවා ඇති බවත් විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පෙන්වා දුන්හ.

සැකකාර වෛද්‍යවරිය සේවය කළ වාට්ටුවේ ප්‍රධාන ලිපිකරු ලෙස සේවය කළ ඉන්දික නමැත්තා සැකකාර වෛද්‍යවරිය විසින් යොමුකරන රෝගීන් හට පෞද්ගලික ආයතනයේ සේවය කරන නිමල් නමැත්තාගේ දුරකථන අංකය ලබාදී ඇති බවත් රෝගීන් ඇණවුම් කරන ශල්‍යකර්ම අයිතම් සඳහා ගෙවූ මුදලට අදාළ බිල්පත් වට්ස්ඇප් මාර්ගයෙන් අදාළ පාර්ශ්වවලට ලබාදී ඇතත් වෛද්‍ය උපකරණ ගැනුම්කරුවන්ට ලබානොදී එම සැකකරු විසින්ම අදාළ වාට්ටුවට ගෙනැවිත් භාරදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ. සමහර අවස්ථාවලදී සැකකාර වෛද්‍යවරිය විසින්ම අදාළ වෛද්‍ය උපකරණ වාට්ටුවට රැගෙන පැමිණ ඇති බවට ද රෝහල් කාර්යමණ්ඩලයෙන් ලබාගත් ප්‍රකාශ අනුව අනාවරණය වී ඇතැයි විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

සිය සේවාදායිකාව විමර්ශන නිලධාරීන් විසින් රෝහලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මාධ්‍යවේදීන් රෝහල් භූමියට පැමිණ සිටීම අනුව එය මනාව සැලසුම් කළ ක්‍රියාවක් බව පෙනී යන්නේ යැයි පළමුවන සැකකාරිය වන වෛද්‍යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසීය.

රෝගීන්ට අවශ්‍ය සමහර ප්‍රශස්ත මට්ටමේ ඖෂධ වර්ග රෝහලේ නොමැති බැවින් ඒවා පිටින් මිලදී ගතයුතු බව රෝහලේ බිත්තිවල පවා දැන්වීම් අලවා තිබූ බවද අධිකරණයට පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා වසර දෙකක් තිස්සේ සිදුකරන විමර්ශනවලට සිය සේවාදායිකාව කිසිදු ආකාරයකින් බලපෑමක් සිදුකර නැති නිසා ඇයව ඇපමත මුදාහරින ලෙසට ද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකාර වෛද්‍යවරිය අත්අඩංගුවට ගත් පසු ඇගේ සේවය නොලැබීම නිසා එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ රෝගීන් දෙදෙනකු මියගොස් ඇතැයි ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට පැවසීය. එකී වෛද්‍යවරිය විසින් නියම කරන වෛද්‍ය උපකරණ රාජ්‍ය ඔසුසලේ තිබේ දැයි රෝගීන් හෝ ඔවුන්ගේ ඥාතීන් සොයාබලා නැතිදැයි එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ගෙන් විමසා සිටි අතර අදාළ උපකරණ මිලදී ගතයුතු ආයතනය සැකකාර වෛද්‍යවරිය විසින්ම නිශ්චිතව දැනුම්දීම නිසා ඒ පිළිබඳව පැමිණිලිකරුවන් සොයාබැලීමක් සිදුකර නොමැති බව විමර්ශන නිලධාරීහු පැවසූහ.

රෝගීන් විසින් ඖෂධ පිටතින් ලබාගැනීම කිසිදු වරදක් නොවන බවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා විසින් කළ ප්‍රකාශයක් සිරස මාධ්‍ය මගින් ප්‍රචාරයකර ඇති බවත් සමාජ මාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාර දෙස බැලීමට පෙර විමර්ශන සිදුකරන අල්ලස් කොමිසම එකී ප්‍රවෘත්ති දෙස බැලිය යුතුව තිබුණේ යැයි තුන්වන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි – බැරල් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි!

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

පාරිභෝගිකයින් බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත ඒකරාශි වෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලීම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තාවී ඇති හෙයින් මෙම පියවර ගෙන ඇත.

සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල් වලට ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇත.

ඒ අනුව ඉහත තීරණය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දැනුම්දී ඇති අතර ඊට පටහැනිව කටයුතු කළහොත් බෙදුම්කාරත්ව ධූරය සම්බන්ධව දැඩි විනයානුකූල පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

මාස 5කට පසු තෙල් මිල ගැට්ටටම නගී!

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායලය ඊයේ  (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි.

එය පසුගිය මාස 5තුළ වාර්තාවූ ඉහළම අගය වන අතර එහි වැඩිවීම 9%ක් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් අ.ඩො 6.29කින් ඉහළ ගොස් ඇති අතර එහි නවතම මිල අ.ඩො. 75.65ක අගයක් ගෙන තිබේ.

පසුගිය ජනවාරි 27 වනදා බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.50ක අගයක් ගත් අතර ඉන් පසු වාර්තාවූ ඉහළම මිල මෙය වෙයි.

මෙම කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ගෝලීය වෙළෙඳාමටද දැඩි බලපෑමක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.